Monday, February 6, 2012

Wallpapers දානකොට මේ ගැනත් හිතන්න..

මේ පෝස්ට් එක බලන ඔබ හැමෝම දන්නවනෙ wallpaper එකක් කියන්නෙ මොකක්ද කියලා. ඔයාලගෙ පරිගණකයෙ තියෙන background එක. අපි කවුරුත් කැමති ඕකට හොඳ ලස්සන පින්තූරයක් දාලා තියා ගන්නෙනෙ. ඕනෙ තරම් පින්තූර නෙට් එකෙන් හොයා ගන්න පුලුවන් කියලා මං කියන්ඩ ඕනෙ නෑ.
ඒ ගැන නෙවෙයි කියන්ට ඕනෙ උනේ. ඔය පින්තූර පාවිච්චි කරන කොට මට තේරුම් ගිය කරුණු දෙක තුනක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන, ඒකයි.

වෝල්පේපර් එකක් තෝර ගන්නකොට ලස්සන විතරක් සලකල හරි යන්නෙ නෑ. පාට, ආලෝකය වගේ දේවල් ගැනත් හිතුවොත් අපේ ඇස් වලට වගේම මනසටත් යම් සහනයක් ලබාගන්න පුලුවන්.

ගොඩාක් දීප්තිමත් එළි සහිත wallpapers දාගත්තම ඇහැට අමාරුයි. බලන්න පහළ රූපය..


අනිත් කරුණ තමා පින්තූරෙ ත්‍රිමාන ව බැලුවම පෙනෙන විදිය. පහළ රූපෙ බලන්න. ඔහොම එකක් desktop එකට දාගත්තම පේන්නෙ අත්ත තිරය ළඟම තියෙනවා වගෙයි. ඒ කියන්නෙ අපි රූපයේ ගැඹුර (z) ගැන හිතනව නම් මේ රූපයේ ගැඹුරක් නැති තරම්. වෙන විදියකට කියනව නම් අපි පරිගණකය පාවිච්චි කරනකොට මේ පින්තූරෙ focus වෙලා තියෙන්නෙ ඇසට බොහොම ලඟින්.


දැන් බලන්න මේ රූපය:


බැලූ බැල්මට මේ පින්තූරෙ ගැඹුරක් තියෙනවා. ඒ කියන්නෙ ත්‍රිමාන ගතියක්. ඔයා ගොඩක් ඈත තියෙන දෙයක් දිහා බලන ගතියක් තේරෙනවා නේද? කලින් රූපයත් එක්ක සංසන්දනය කරලා බලන්න. වෙනසක් තේරෙයි.
ඇත්තටම එහෙම තිරයෙන් පිටිපස්සට නාභිගත වෙනවා වගේ පේන wallpaper එකක් දාගත්තම ඇස්වලට දැනෙන වෙහෙස අඩු වෙනවා. විද්‍යාත්මකව බැලුවත් ඒක එහෙමනෙ, ඈත බලනකොට තමා ඇස්වලට සනීපයක් දැනෙන්නෙ (ඈත තියෙන පොඩී දේවල් බලනකොට නෙවි, නිකන් ඈත බලන් ඉන්නකොට).

ඔයාලා මේ වෙනකල් මේ ගැන හිතලා තිබුනෙ නැත්නම් දැන්වත් වෙනස වටහා ගන්න. wallpaper එකක් තෝර ගන්නකොට හැකිතාක් ද්විමාන (2D) රූප නැතුව ත්‍රිමාන (3D) රූප යොදාගන්න. :)
පෝස්ට් එක ගැන අදහසක් කියල යන්නත් අමතක කරන්න එපා ;)

ප. ලි. : මේ ලිපියට පළවුන ප්‍රතිචාරයක් නිසා මේක කියෝලා වැරදි වැටහීමක් ලැබෙනවද කියලා හිතුනා. මේ විදියෙ 3D wallpaper එකක් භාවිතා කලා කියලා දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා හිඳීම නිසා ඇස්වලට ඇති වෙන විඩාව මඟ ඇරෙන්නෙ නෑ. කොහොමත් ඔයාලා වැඩ කරන හැම තිස්සෙම wallpaper එක පේන්නෙ නෑනෙ. ඒක නිසා මෙහෙම කලා කියලා ඇස ආරක්ෂා වෙයි කියල හිතන්න එපා. ඇසට යම් සැහැල්ලුවක් තමා ලැබෙන්නෙ. ඒක නිසා පැය බාගෙකට සැරයක් වත් පරිගණකයෙන් ඇස් ඉවත් කරලා විවේකයක් ගන්න අමතක කරන්නත් එපා.

Sunday, January 1, 2012

සුබ නව වසරක් වේවා!!


මෙය කියවන ඔබ ඇතුළු ලංකාවාසී ලෝකවාසී සියළු ජනී ජනයා ඇතුළු සියලු ජීවීන් හට මේ ලැබුවා වූ නව වසර සුබ වාසනාවන්ත ම වසරක් වේවා! 
සියළු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!
ලෙඩ දුක් සතුරු කරදර අඩු වේවා!
යහපත් මිතුරන් වැඩි වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.. :)

Sunday, November 27, 2011

Command Prompt එක අපිට ඕනෙ තැනින් පටන් ගමු

අපි සාමාන්‍යෙන් Start > All Programs > Accessories > Command Prompt ගිහින් open කර ගන්න Command Prompt (CP) එක පටන් ගන්නෙ C:/users/username කියන තැනින් නෙ


ඊට පස්සෙ අපිට ඕන path එකට හදා ගන්නවා. වැඩියක්ම programming වැඩ වලට මේක පාවිච්චි කරන අයට ඒ ගැන අත්දැකීම් ඇති, CP එක open කරන වාරයක් පාසා ඕක set කරන්න එපැයි! එහෙම නැතුව ඔයාලට පුලුවන් ඒ ඕන path එකෙන්ම CP එක පටන් ගන්න විදියට සකස් කරන්න.  
ඒ ගැන නොදැන හිටිය නම් ඒ අයට මේ ලිපියෙන් වැඩක් වෙයි :)

ක්‍රමය

CP එක copy කරගන්න.


ඊලඟට ඔයාට පහසු තැනකට (උදා: Desktop) ගිහින් paste කරන්න. 
දැන් ඒ අලුත් shortcut එක right-click කරලා Properties යන්න.
Properties වල Start in සඳහා තියෙන textbox එකට අර පටන් ගන්න ඕන folder එකේ path එක දෙන්න.



දැන් ඒ අලුත් shortcut එක double click කලාම ඒ folder එකෙන් ම CP එක පටන් ගනී.

සැලකිය යුතුයි:


CP එක කොපි කරනකොට Start button එක උඩ තියෙන Search box එකේ cmd ගහලා එන එක කොපි කලොත් කොපි වෙන්නෙ application එකක්, shortcut එකක් නෙවි. ඒකෙ Start in location එක වෙනස් කරන්න බෑ. ඔයා paste කරන folder එකේ path එකෙන් තමා CP එක පටන් ගන්නෙ.

ඔන්න ඕකයි කතාව. Command Prompt එක නිතර පාවිච්චි කලත් මේ ගැන නොදැන හිටපු අයට වැදගත් වෙයි. ඒ ගැන සැකයක් ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න. 

හැමෝටම සුබ දවසක්!

Thursday, November 17, 2011

Lecture slides ලස්සනට print කරමු

දැන් කාලෙ ගොඩක් කැම්පස් වල lectures කරන්නෙ Powerpoint slides හදලා projector එකක් පාවිච්චි කරල නෙ. ඒ ගැන විස්තර කියන්නෙ නෑ මං, ඔයාල දන්නවනෙ. මේ slides බොහෝ විට ළමයින්ට ලැබෙනවා. ඉතින් කට්ටිය කරන්නෙ ඕවා print කර ගන්න එකනෙ. ඔව් ඒක තමා හොඳම විසඳුම. Computer එකේ තියන් ඕව බලනවා කියන්නෙ මහ එපා වෙන වැඩක් නෙ.

සාමාන්‍යන් ඒ වගේ lecture slide එකක slides 10-12 ක් වගේ හෝ 60-70 ක් වගේ උනත් තියෙනවා. ඕවා ඉතින් පිටුවට එක ගානෙ print නොකර අපි කරන්නෙ MS Word layout එකෙන් එක පිටුවට slides 4,6 හෝ 9 ක් එන්න හදලා ප්‍රින්ට් කරන එකනෙ. ඒ උනාට Word වලින් ඔහොම කරන එක තේරුමක් නෑ. මොකද පිටුවකට 6ක් ගත්තත් බොහොම පොඩියට වදින්නෙ. පාඩම් කරන්න ගියාම එපා වෙනවා.
MS Powerpoint- Slides 9ක් එකට
ඔහොම නැතුව මේ වගේ ලොකුවට print කර ගත්තොත් නම් වැඩේ ගොඩනෙ. ගානත් ඉතුරුයි, නෝට් එකත් පැහැදිලියි. :)


ඔය උඩ රූප දෙකම A4 ප්‍රමාණයේ පිටු. image කරලා පොඩි කරන කොට පරිමාණ පොඩ්ඩක් වෙනස් වෙලා. ගනන් ගන්න එපා!

තව විස්තර ඕනෙ නෑ, මෙහෙම ලස්සනට අපේ Powerpoint slides ටික print කරන්න උපාකාරී වෙන්නෙ PrimoPDF කියන නොමිලේ දෙන මෘදුකාංගයක්. මේක www.primopdf.com කියන වෙබ් අඩවියෙන් නොමිලෙම බා ගන්න පුලුවන්.


බාගත කරගෙන install කර ගත්තම මේක පෙන්නන්නෙ printer එකක් විදියට:


හරි! දැන් ඊලඟ පාර PP slides print කරනකොට printer එක හැටියට මේක තෝරන්න:


ඊලඟට ඔය එතනම පහලින් තියෙන Printer Properties වලට ගිහින් පිටුවකට ඕන slides ගාන දෙන්න. පිටුවකට කොච්චර දෙනවද කියලා ඔයාලා තීරණය කරන්න.

ඕක OK කරලා Print button එක ඔබන්න. එන window එකේ default button එක හෙවත් Create PDF click කරලා එන window එකේ file path එක ලබා දෙන්න. 

දැන් ඒ දුන්න පාත් එකේ අදාල PDF එක හැදිලා ඇති (path එක OK කලාම file එක open වෙනවා). දැන් කරන්න තියෙන්නෙ ඒ PDF එක අරන් normal printer එකක A4 size එකෙන් print කර ගන්න. 
එච්චරයි!

link එක: ෴ මෙතන ෴

ප.ලි: මේ විදියට slides print කරන එකට අමතරව PrimoPDF එක මට නම් ගොඩාක් උදව් වෙලා තියෙනවා. ප්‍රධාන ම වටිනකම තමා ඒක මුළු computer එකටම printer එකක් ලෙස ක්‍රියා කිරීම. ඒකෙන් web page එකක් right click කරලා Print.. දුන්නත් ඒ පිටුව PDF එකක් හැටියට Save කර ගන්න පුලුවන්. ඒ වගේ. පාවිච්චි කරල ම බලන්න. :)

Monday, October 10, 2011

IQ Test වලට යන අයට..

ඉල්ලුම් කරපු රස්සවකින් මේ ලඟදි කතා කරලා IQ Test එකකට එන්න කිව්වා අහවල් දවසෙ උදේ 10ට. එන්න කිව්වෙ දවස් දෙක තුනකට පස්සෙ නිසා ඒ වෙලාවෙ හිතුවා පස්සෙ search පාරක් දාලා ප්‍රශ්න ටිකක් බලා ගන්නව කියලා. කොහොම හරි වැඩේ මතක් උනේ ඊට කලින් දවසෙ රෑ 11 ට විතර.. IQ වල පාඩම් කරන්න දෙයක් නැති උනත් ප්‍රශ්න ටිකක් කරලා ටිප්ස් වගේ එව්වා ටිකක් කියෝලා ගියාම වටිනවනෙ. ඉතින් මතක් වෙච්ච වෙලාවෙ google මොලේ පාවිච්චි කරලා දුන්න පළවෙනි ම වෙබ් අඩවියට ගියා. හරි! පේපර් එකක් කරන්න තියෙනව.. විනාඩි 13 ට ප්‍රශ්න 30ක් වගේ. වැඩි වෙලා යන්නෙත් නැති නිසා ඒක කරන්න ගත්තා. ඉතින් කොහොම හරි කරලා ඉවර වෙලා නම, ගම එහෙමත් එන්ටර් කරලා හරි වැරදි බලන්න යද්දි කියාපි $10 ක් ගෙවන්නයි කියලා! අයියෝ මගෙ sleeping time එක කියල හිතුන. ඉතින් ඔක්කොමත් පැත්තකින් තියලා නිදා ගත්තා.

පහු වෙනිදා ඉතින් වැඩේට ගියා. ප්‍රශ්න 40ක් පැයෙන් කරන්න තියෙන්නෙ. ඊයෙ කරපුවත් වඩා දරුණු ගණයේ ගැටළු තියෙන්නෙත්. ආයෙ මොනාද.. ඔක්කොම කරන්න වෙලාව මදි. උත්තර ටික අරන් යන්න එනකොට අර උත්සහ කරන්න තියා කියවන්නවත් බැරි උන ප්‍රශ්න ටිකට ඉස්කෝලෙ පුරුද්දට වගේ 'කනා' ගහලා පත්තරේ බාර දුන්න. ඉවර වෙලා යනකොට තමයි දැන ගත්තෙ IQ වල කනා ගහන්නෙ නෑ කියලා!

කතාව ඇත්තනෙ.. අපි කනාවට ගහපු උත්තරේ වරි ගියා නම් අවුලක් නෑ, වරදුනා නම් ඒ කියන්නෙ අපිට ඒ ප්‍රශ්නෙ බෑ කියන එක, නැත්තම් තේරුම් අරන් වැරදී කියන එක. හරියටම කියනව නම් මෝඩයි කියන එක.. :(

මට වැරදුන තැන තව කෙනෙක්ටත් වරදින්න ඕනෙ නෑනෙ. ඒකයි මේක ලිව්වෙ. ඔයාලත් කවදා කොහෙ හරි IQ test එකක් කරන්න ගියොත් මේ කාරණාව මතක තියා ගන්න. IQ test හෙවත් බුද්ධි පරීක්ෂණයකදි නොදන්න ප්‍රශ්න වලට වත් වෙලා මදි උන නිසා වත් කනා ගහන්න එපා. ඒක ඒ ප්‍රශ්නෙ නොකර අත් අරිනවට වඩා බරපතලයි.

ඒ වගෙම කියන්න ඕනෙ, අන්තර්ජාලයෙ ඕන තරම් නොමිලේ කරන්න පුලුවන් IQ tests තියෙනවා. ඒ වගේ දේකට යන්න කලින් ටිකක් උත්සාහ කරලා යන්න. ඇත්ත පරීක්ෂණයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න පුලුවන් වෙයි. :)

Tuesday, August 23, 2011

Laptop Battery Calibration ගැන දැන ගනිමු

වින්ඩෝස් 7 එක්ක ලැප්ටොප් පාවිච්චි කරන ගොඩක් අයට මේ notification එක දැකලා පුරුදු ඇති!
‍XP වලදි කවදාවත් මෙහෙම එකක් ඇවිත් නැති නිසා ගොඩක් අය හිතන්නෙ Windows 7 වල බැටරි ඉක්මනින් නරක් වෙනව කියලා. ඒකෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ‍XP වල මෙහෙම මුකුත් කිව්වෙ නැත්තෙ ඒකෙ එහෙම බැටරිය ගැන කියන්න හැකියාවක් තිබුනෙ නැති නිසා මිසක් ‍XP වලදි බැටරි නරක් උනේ නැතුව නෙවි.  Windows 7 වල තියෙන feature එකක් තමා බැටරියෙ charging time එක අඩු වෙනකොට ඒ ගැන user ට කියන එක. හරියටම කියනව නම් ඔයාලගෙ ලැප්ටොප් බැටරිය charge වෙන්නෙ ඒකෙ 'designed capacity' එකෙන් 40% කට වඩා අඩුවෙන් නම් තමා එහෙම warning එකක් පෙන්නන්නෙ. XP වල චාජ් වෙන්නෙ 1%ක් උනත් OS එකෙන් මුකුත් කියන්නෙ නෑ.

කොහොමත් බැටරි උනාම කාලයත් එක්ක ඒවයෙ charging capacity එක අඩු වෙනවා තමා. ඒකට හේතු පැහැදිලි කිරීම් කරන්න මං බලාපොරොත්තු වෙන්නෙ නෑ මෙතන. මේකෙ මාතෘකාව ගැන හිතන්න ඕනෙ වෙන්නෙ මේ උන්හිටි ගමන් එක රැයින් වගේ ලැප කරන්ට් එකට සම්බන්ධ කරන් නැතුව බැටරියෙන් වැඩකරන්න පුලුවන් වෙලාව අඩු උනොත් තමා. ඊයෙ පෙරේදා පැය 1 1/2ක් 2ක් බැටරියෙන් වැඩ කරපු එක හිටපු ගමන් පැයෙන් හමාරෙන් බහිනවා කියන්නකො. එපා වෙනවනෙ. ඒ වගේම තමා මෙහෙම උනාම බැටරිය අන්තිම කට්ටට බැහැල තිබුනත් කලින්ට වඩා බොහොම ඉක්මනට 'Fully Charged' වෙනවා. මේවා තමා රෝග ලක්ෂණ වෙන්නෙ.

මෙහෙම වෙන්න ප්‍රධාන ම හේතු දෙකක් තියෙනවා. එකක් තමා බැටරිය ඇත්තටම නරක් වීම. නරක් උනාට පස්සෙ අලුත් එකක් ගන්නවා ඇරෙන්න විකල්පයක් නෑ (හරි හරි ඕන්නම් බැටරිය රෙපෙයාර් කරන්නත් පුලුවන් තමා).
අනිත් හේතුව තමා ඔය බැටරි වල තියෙනවා පොඩි අයිටම් එකක් (micro-controller unit එකක්. මීට පස්සෙ SBS කියලා කියන්නම්) බැටරියෙ charging capacity එක වගේ තොරතුරු දැනගන්න. ‍බැටරිය යම් කාලයක් සැරින් සැරේ current එකෙනුයි බැටරි බලෙනුයි වැඩ කරද්දි මේ SBS එකට ගණන් වරදිනවා. අන්න එහෙම උනාමත් බැටරියෙ charge time එක අඩු වෙන්න (ඇත්තටම අඩුයි කියලා පෙන්නන්න) පුලුවන්. එතකොට ඇත්තටම බැටරිය තව චාජ් කරන්න පුලුවන් උනත් පෙන්නන්නෙ බෑ කියලා. මේ හේතුව නිසා වෙන අවුල නැති කර ගන්න තමා බැටරිය calibrate කරන්නෙ.

Battery Calibration කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ SBS එක  reset කරන එක. සරලවම කෙටියෙන් කියනව නම් මේකෙදි කරන්නෙ බැටරිය 100% චාජ් කරලා, බිංදුවටම බස්සලා, ආයෙ 100%ක් චාජ් කරන එක. එහෙම කලාම SBS එකට පුලුවන් ආයෙත් හරි අග මුල හොයාගන්න!

වැඩේ කරන හැටි විස්තර ඇතුව කියනව නම්:
  1. බැටරිය Full Charge කිරීම
බැටරිය ලැප්ටොප් එකට සම්බන්ධ කර තිබියදී laptop battery charger එක පාවිච්චි කරලා බැටරිය 100% චාජ් කරගන්න. 100% උනාම charging වෙලාවෙදි පත්තු වෙන light එක නිවෙනව. මේක එක එක ලැප්ටොප් වල එක එක විදියට තියෙන්න පුලුවන්. ඒක නිසා හොඳම දේ Task Bar එකේ දකුණු පැත්තෙ පෙන්නන පොඩි බැටරිය click කරලා බලන එක (මුල්ම රූපය).Full charge උනාට පස්සෙ full discharge කරන්න ඕනෙ.

     2.  බැටරිය Full Discharge කිරීම

     දැන් 100%ක් චාජ් වෙලානෙ, මේ පියවරට පහල විදියට settings හදා ගන්න ඕනෙ:
  • Control Panel\Hardware and Sound\Power Options වෙනකල් යන්න.
  • පැත්තෙ මෙනුවෙන් Create a power plan තෝරලා Next යන්න


  • අළුත් ප්ලෑනට නමක් දීලා ආයෙ Next


  • ඊලඟට එන පිටුවෙ On Battery යටතේ තියෙන එව්වා ඔක්කොම Never කරන්න

  • දැන් ඒ ප්ලෑන select කරලා window එක close කරලා දාන්න.
හරි! දැන් ආයෙ බලන්න, බැටරිය සීයට සීයක් ම චාජ් වෙලා නේද? එහෙනම් charger එක ඉවත් කරලා බැටරියට ඔහේ බැහැලා යන්න දෙන්න. Warning pop-ups ගනන් ගන්න එපා, ලැප off වෙලා යනකන්ම ඉන්න. හිතුවට වඩා වැඩි වෙලාවක් යනවද off වෙන්න? එහෙනම් SBS එකේ අවුලක් තිබිලා තියෙනවා! බය වෙන්න එපා මේකෙන් පස්සෙ හරි යයි :). Off උනාට පස්සෙ ආයෙ Power button එක ඔබලා තව චුට්ටක් වත් බලයක් ඉතුරු වෙලා තියෙනව නම් නැති කරන්න. ඊලඟ හෙවත් අවසාන පියවරට යන්න!

     3. බැටරිය නැවතත් Full Charge කිරීම

දැන් ආයෙ  charger එක සම්බන්ධ කරලා බැටරිය 100% චාජ් කරගන්න ඕනෙ. Full charge උනාම off  වෙන light එකක් නැත්තම් පැය 8ක් විතර current එකට සම්බන්ධ කරලා තියන්න.

ඔන්න ඔහොමයි Laptop Battery Calibrate කරන්නෙ.

සැලකිය යුතු කරුණු:
  • මේකෙන් බැටරිය repair / recondition කිරීමක් වෙන්නෙ නෑ. බැටරියෙ charging cycles ගැන බලන micro-controller එක නිවැරදි කිරීමක් විතරයි වෙන්නෙ.
  • Calibrate කලාට පස්සෙත් වෙනසක් නැත්තම් වෙන හේතුවක් නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. (බොහෝ විට අර කලින් කියපු හේතු දෙකෙන් මුල් එක :O) 
  • ගොඩක් පරණ බැටරි වලට මේක බලපෑන්නෙ නෑ
  • Smart Batteries සඳහා පමණක් වලංගු වේ (දැනට සාමාන්‍යෙන් ලැප්ටොප් වල පාවිච්චි වෙන එව්ව එහෙම තමා)
  • මෙය නිතර නිතර කිරීම පලක් නැත. Current එක නැතිව බැටරියෙන් නිතර වැඩ කරනව නම් මාසෙකට දෙකකට සැරයක් කලාට කම් නැත
 Battery Calibration කල යුතු අවස්ථා:
  • බැටරිය ගැන පෙන්නන තත්ත්ව වැරදී වගේ නම් (උදා: 90% charged පෙන්නලා විනාඩි 10න් ඒක 5% වෙනව වගේ)
  • Full charge වෙන්න යන වෙලාව / බැටරියෙන් වැඩ කරන්න පුලුවන් වෙලාව සැලකිය යුතු ලෙස අඩු උනෝතින්
  • බැටරිය මාස ගානකින් පාවිච්චි කලේ නැත්තම්

මේ ගැන කියන්න තියෙන්නෙ ඔච්චරයි. ලැප්ටොප් පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියලා හිතෙනවා. තාක්ෂනික කරුණු පුලුවන් තරම් මඟ ඇරලා ඕනෙම කෙනෙක්ට තේරෙන්න ලියන්නයි ඕන උනේ, වැඩේ හරි ගියාද මන්දා.. කියෙව්වනම් හිතුන දේ පහලින් ලියල ම ගියොත් ගොඩක් වටිනවා :)
 බොහොම ස්තුතියි!

Wednesday, June 8, 2011

රුවන්වැලි සෑයේ දේවතා එළි! (ද??)

පහුගිය සිකුරාදා (2011 ජූනි 3) අපි අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ ගිහින් බෝධියට නොවැඳ යන කෙනෙක් නෑනෙ. ඉතින් අපිත් එදා හවස රුවන්වැලි මහා සෑයයි ජය ශ්‍රී මහා බෝධියයි වඳින්න ගියා. මෙන්න එදා සෑය ලඟ ලොකු පින්කමක්. පිරිකර 10 000 ක් (ඊටත් වැඩි ඇති) පූජ කරනවා.
ඉතින් ඒකත් බල බල අපි සෑය වටේ යන ගමන් මං පොටෝ ගත්තා. එදා සෑය හරිම ලස්සනයි. ඒ පොටෝ අතර සටහන් වුන මේ පින්තූර දෙක බලන්න:



"ඒ වගේ පින්වත් දවසක දෙවියො නොවැඩ ඉන්න බෑ. මේ ඒ අයම තමයි!", කෙනෙක්ට එහෙම හිතෙන්නත් පුලුවන්.

ඇත්ත: ඒ වෙලාවෙ පොඩ්ඩක් වැස්සා. ඒ ගැන වත් හිතන් නැතුව තමා මේ පොටෝ ගත්තෙ. ඔය වැදිලා තියෙන්නෙ කැමරා කාචයට අහුවුන වැහි බින්දු! :)

මේ වගෙම දූවිලි වගේ අර සාමාන්‍යෙන් රෑ පොටෝ ගන්නකොට කැමරාවලට අහු වෙන රවුම් වගයක් දේවතා එළි කියලා කියනු කතාවක් මතක් උනා මට. ඒකයි මේක දාන්න හිතුනෙ. ඒක ශ්‍රද්ධාව වැඩි කමද කපටි කමද මං දන්නෑ. මොනා උනත් කෙනෙක් කියන පලියට අපි පිළිගන්න ඕනෙ නෑ. ඔලුව පාවිච්චි කරලා හිතලා බලන්නයි ඕනෙ කියලයි මගෙ නම් අදහස. ඔයාල මොකෝ හිතන්නෙ?

ප.ලි: කාට හරි මේ පෝස්ට් එක කියෝල ඩෝං ගියා නං මේ පොටෝ එක බලලවත් හිත නිවා ගන්න.. බලන්න ලස්සන! (ඒකෙත් පොඩි දේවතා එළියක් තියෙනව හැබැයි!)