Monday, October 10, 2011

IQ Test වලට යන අයට..

ඉල්ලුම් කරපු රස්සවකින් මේ ලඟදි කතා කරලා IQ Test එකකට එන්න කිව්වා අහවල් දවසෙ උදේ 10ට. එන්න කිව්වෙ දවස් දෙක තුනකට පස්සෙ නිසා ඒ වෙලාවෙ හිතුවා පස්සෙ search පාරක් දාලා ප්‍රශ්න ටිකක් බලා ගන්නව කියලා. කොහොම හරි වැඩේ මතක් උනේ ඊට කලින් දවසෙ රෑ 11 ට විතර.. IQ වල පාඩම් කරන්න දෙයක් නැති උනත් ප්‍රශ්න ටිකක් කරලා ටිප්ස් වගේ එව්වා ටිකක් කියෝලා ගියාම වටිනවනෙ. ඉතින් මතක් වෙච්ච වෙලාවෙ google මොලේ පාවිච්චි කරලා දුන්න පළවෙනි ම වෙබ් අඩවියට ගියා. හරි! පේපර් එකක් කරන්න තියෙනව.. විනාඩි 13 ට ප්‍රශ්න 30ක් වගේ. වැඩි වෙලා යන්නෙත් නැති නිසා ඒක කරන්න ගත්තා. ඉතින් කොහොම හරි කරලා ඉවර වෙලා නම, ගම එහෙමත් එන්ටර් කරලා හරි වැරදි බලන්න යද්දි කියාපි $10 ක් ගෙවන්නයි කියලා! අයියෝ මගෙ sleeping time එක කියල හිතුන. ඉතින් ඔක්කොමත් පැත්තකින් තියලා නිදා ගත්තා.

පහු වෙනිදා ඉතින් වැඩේට ගියා. ප්‍රශ්න 40ක් පැයෙන් කරන්න තියෙන්නෙ. ඊයෙ කරපුවත් වඩා දරුණු ගණයේ ගැටළු තියෙන්නෙත්. ආයෙ මොනාද.. ඔක්කොම කරන්න වෙලාව මදි. උත්තර ටික අරන් යන්න එනකොට අර උත්සහ කරන්න තියා කියවන්නවත් බැරි උන ප්‍රශ්න ටිකට ඉස්කෝලෙ පුරුද්දට වගේ 'කනා' ගහලා පත්තරේ බාර දුන්න. ඉවර වෙලා යනකොට තමයි දැන ගත්තෙ IQ වල කනා ගහන්නෙ නෑ කියලා!

කතාව ඇත්තනෙ.. අපි කනාවට ගහපු උත්තරේ වරි ගියා නම් අවුලක් නෑ, වරදුනා නම් ඒ කියන්නෙ අපිට ඒ ප්‍රශ්නෙ බෑ කියන එක, නැත්තම් තේරුම් අරන් වැරදී කියන එක. හරියටම කියනව නම් මෝඩයි කියන එක.. :(

මට වැරදුන තැන තව කෙනෙක්ටත් වරදින්න ඕනෙ නෑනෙ. ඒකයි මේක ලිව්වෙ. ඔයාලත් කවදා කොහෙ හරි IQ test එකක් කරන්න ගියොත් මේ කාරණාව මතක තියා ගන්න. IQ test හෙවත් බුද්ධි පරීක්ෂණයකදි නොදන්න ප්‍රශ්න වලට වත් වෙලා මදි උන නිසා වත් කනා ගහන්න එපා. ඒක ඒ ප්‍රශ්නෙ නොකර අත් අරිනවට වඩා බරපතලයි.

ඒ වගෙම කියන්න ඕනෙ, අන්තර්ජාලයෙ ඕන තරම් නොමිලේ කරන්න පුලුවන් IQ tests තියෙනවා. ඒ වගේ දේකට යන්න කලින් ටිකක් උත්සාහ කරලා යන්න. ඇත්ත පරීක්ෂණයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න පුලුවන් වෙයි. :)

Tuesday, August 23, 2011

Laptop Battery Calibration ගැන දැන ගනිමු

වින්ඩෝස් 7 එක්ක ලැප්ටොප් පාවිච්චි කරන ගොඩක් අයට මේ notification එක දැකලා පුරුදු ඇති!
‍XP වලදි කවදාවත් මෙහෙම එකක් ඇවිත් නැති නිසා ගොඩක් අය හිතන්නෙ Windows 7 වල බැටරි ඉක්මනින් නරක් වෙනව කියලා. ඒකෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ‍XP වල මෙහෙම මුකුත් කිව්වෙ නැත්තෙ ඒකෙ එහෙම බැටරිය ගැන කියන්න හැකියාවක් තිබුනෙ නැති නිසා මිසක් ‍XP වලදි බැටරි නරක් උනේ නැතුව නෙවි.  Windows 7 වල තියෙන feature එකක් තමා බැටරියෙ charging time එක අඩු වෙනකොට ඒ ගැන user ට කියන එක. හරියටම කියනව නම් ඔයාලගෙ ලැප්ටොප් බැටරිය charge වෙන්නෙ ඒකෙ 'designed capacity' එකෙන් 40% කට වඩා අඩුවෙන් නම් තමා එහෙම warning එකක් පෙන්නන්නෙ. XP වල චාජ් වෙන්නෙ 1%ක් උනත් OS එකෙන් මුකුත් කියන්නෙ නෑ.

කොහොමත් බැටරි උනාම කාලයත් එක්ක ඒවයෙ charging capacity එක අඩු වෙනවා තමා. ඒකට හේතු පැහැදිලි කිරීම් කරන්න මං බලාපොරොත්තු වෙන්නෙ නෑ මෙතන. මේකෙ මාතෘකාව ගැන හිතන්න ඕනෙ වෙන්නෙ මේ උන්හිටි ගමන් එක රැයින් වගේ ලැප කරන්ට් එකට සම්බන්ධ කරන් නැතුව බැටරියෙන් වැඩකරන්න පුලුවන් වෙලාව අඩු උනොත් තමා. ඊයෙ පෙරේදා පැය 1 1/2ක් 2ක් බැටරියෙන් වැඩ කරපු එක හිටපු ගමන් පැයෙන් හමාරෙන් බහිනවා කියන්නකො. එපා වෙනවනෙ. ඒ වගේම තමා මෙහෙම උනාම බැටරිය අන්තිම කට්ටට බැහැල තිබුනත් කලින්ට වඩා බොහොම ඉක්මනට 'Fully Charged' වෙනවා. මේවා තමා රෝග ලක්ෂණ වෙන්නෙ.

මෙහෙම වෙන්න ප්‍රධාන ම හේතු දෙකක් තියෙනවා. එකක් තමා බැටරිය ඇත්තටම නරක් වීම. නරක් උනාට පස්සෙ අලුත් එකක් ගන්නවා ඇරෙන්න විකල්පයක් නෑ (හරි හරි ඕන්නම් බැටරිය රෙපෙයාර් කරන්නත් පුලුවන් තමා).
අනිත් හේතුව තමා ඔය බැටරි වල තියෙනවා පොඩි අයිටම් එකක් (micro-controller unit එකක්. මීට පස්සෙ SBS කියලා කියන්නම්) බැටරියෙ charging capacity එක වගේ තොරතුරු දැනගන්න. ‍බැටරිය යම් කාලයක් සැරින් සැරේ current එකෙනුයි බැටරි බලෙනුයි වැඩ කරද්දි මේ SBS එකට ගණන් වරදිනවා. අන්න එහෙම උනාමත් බැටරියෙ charge time එක අඩු වෙන්න (ඇත්තටම අඩුයි කියලා පෙන්නන්න) පුලුවන්. එතකොට ඇත්තටම බැටරිය තව චාජ් කරන්න පුලුවන් උනත් පෙන්නන්නෙ බෑ කියලා. මේ හේතුව නිසා වෙන අවුල නැති කර ගන්න තමා බැටරිය calibrate කරන්නෙ.

Battery Calibration කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ SBS එක  reset කරන එක. සරලවම කෙටියෙන් කියනව නම් මේකෙදි කරන්නෙ බැටරිය 100% චාජ් කරලා, බිංදුවටම බස්සලා, ආයෙ 100%ක් චාජ් කරන එක. එහෙම කලාම SBS එකට පුලුවන් ආයෙත් හරි අග මුල හොයාගන්න!

වැඩේ කරන හැටි විස්තර ඇතුව කියනව නම්:
  1. බැටරිය Full Charge කිරීම
බැටරිය ලැප්ටොප් එකට සම්බන්ධ කර තිබියදී laptop battery charger එක පාවිච්චි කරලා බැටරිය 100% චාජ් කරගන්න. 100% උනාම charging වෙලාවෙදි පත්තු වෙන light එක නිවෙනව. මේක එක එක ලැප්ටොප් වල එක එක විදියට තියෙන්න පුලුවන්. ඒක නිසා හොඳම දේ Task Bar එකේ දකුණු පැත්තෙ පෙන්නන පොඩි බැටරිය click කරලා බලන එක (මුල්ම රූපය).Full charge උනාට පස්සෙ full discharge කරන්න ඕනෙ.

     2.  බැටරිය Full Discharge කිරීම

     දැන් 100%ක් චාජ් වෙලානෙ, මේ පියවරට පහල විදියට settings හදා ගන්න ඕනෙ:
  • Control Panel\Hardware and Sound\Power Options වෙනකල් යන්න.
  • පැත්තෙ මෙනුවෙන් Create a power plan තෝරලා Next යන්න


  • අළුත් ප්ලෑනට නමක් දීලා ආයෙ Next


  • ඊලඟට එන පිටුවෙ On Battery යටතේ තියෙන එව්වා ඔක්කොම Never කරන්න

  • දැන් ඒ ප්ලෑන select කරලා window එක close කරලා දාන්න.
හරි! දැන් ආයෙ බලන්න, බැටරිය සීයට සීයක් ම චාජ් වෙලා නේද? එහෙනම් charger එක ඉවත් කරලා බැටරියට ඔහේ බැහැලා යන්න දෙන්න. Warning pop-ups ගනන් ගන්න එපා, ලැප off වෙලා යනකන්ම ඉන්න. හිතුවට වඩා වැඩි වෙලාවක් යනවද off වෙන්න? එහෙනම් SBS එකේ අවුලක් තිබිලා තියෙනවා! බය වෙන්න එපා මේකෙන් පස්සෙ හරි යයි :). Off උනාට පස්සෙ ආයෙ Power button එක ඔබලා තව චුට්ටක් වත් බලයක් ඉතුරු වෙලා තියෙනව නම් නැති කරන්න. ඊලඟ හෙවත් අවසාන පියවරට යන්න!

     3. බැටරිය නැවතත් Full Charge කිරීම

දැන් ආයෙ  charger එක සම්බන්ධ කරලා බැටරිය 100% චාජ් කරගන්න ඕනෙ. Full charge උනාම off  වෙන light එකක් නැත්තම් පැය 8ක් විතර current එකට සම්බන්ධ කරලා තියන්න.

ඔන්න ඔහොමයි Laptop Battery Calibrate කරන්නෙ.

සැලකිය යුතු කරුණු:
  • මේකෙන් බැටරිය repair / recondition කිරීමක් වෙන්නෙ නෑ. බැටරියෙ charging cycles ගැන බලන micro-controller එක නිවැරදි කිරීමක් විතරයි වෙන්නෙ.
  • Calibrate කලාට පස්සෙත් වෙනසක් නැත්තම් වෙන හේතුවක් නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. (බොහෝ විට අර කලින් කියපු හේතු දෙකෙන් මුල් එක :O) 
  • ගොඩක් පරණ බැටරි වලට මේක බලපෑන්නෙ නෑ
  • Smart Batteries සඳහා පමණක් වලංගු වේ (දැනට සාමාන්‍යෙන් ලැප්ටොප් වල පාවිච්චි වෙන එව්ව එහෙම තමා)
  • මෙය නිතර නිතර කිරීම පලක් නැත. Current එක නැතිව බැටරියෙන් නිතර වැඩ කරනව නම් මාසෙකට දෙකකට සැරයක් කලාට කම් නැත
 Battery Calibration කල යුතු අවස්ථා:
  • බැටරිය ගැන පෙන්නන තත්ත්ව වැරදී වගේ නම් (උදා: 90% charged පෙන්නලා විනාඩි 10න් ඒක 5% වෙනව වගේ)
  • Full charge වෙන්න යන වෙලාව / බැටරියෙන් වැඩ කරන්න පුලුවන් වෙලාව සැලකිය යුතු ලෙස අඩු උනෝතින්
  • බැටරිය මාස ගානකින් පාවිච්චි කලේ නැත්තම්

මේ ගැන කියන්න තියෙන්නෙ ඔච්චරයි. ලැප්ටොප් පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියලා හිතෙනවා. තාක්ෂනික කරුණු පුලුවන් තරම් මඟ ඇරලා ඕනෙම කෙනෙක්ට තේරෙන්න ලියන්නයි ඕන උනේ, වැඩේ හරි ගියාද මන්දා.. කියෙව්වනම් හිතුන දේ පහලින් ලියල ම ගියොත් ගොඩක් වටිනවා :)
 බොහොම ස්තුතියි!

Wednesday, June 8, 2011

රුවන්වැලි සෑයේ දේවතා එළි! (ද??)

පහුගිය සිකුරාදා (2011 ජූනි 3) අපි අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ ගිහින් බෝධියට නොවැඳ යන කෙනෙක් නෑනෙ. ඉතින් අපිත් එදා හවස රුවන්වැලි මහා සෑයයි ජය ශ්‍රී මහා බෝධියයි වඳින්න ගියා. මෙන්න එදා සෑය ලඟ ලොකු පින්කමක්. පිරිකර 10 000 ක් (ඊටත් වැඩි ඇති) පූජ කරනවා.
ඉතින් ඒකත් බල බල අපි සෑය වටේ යන ගමන් මං පොටෝ ගත්තා. එදා සෑය හරිම ලස්සනයි. ඒ පොටෝ අතර සටහන් වුන මේ පින්තූර දෙක බලන්න:



"ඒ වගේ පින්වත් දවසක දෙවියො නොවැඩ ඉන්න බෑ. මේ ඒ අයම තමයි!", කෙනෙක්ට එහෙම හිතෙන්නත් පුලුවන්.

ඇත්ත: ඒ වෙලාවෙ පොඩ්ඩක් වැස්සා. ඒ ගැන වත් හිතන් නැතුව තමා මේ පොටෝ ගත්තෙ. ඔය වැදිලා තියෙන්නෙ කැමරා කාචයට අහුවුන වැහි බින්දු! :)

මේ වගෙම දූවිලි වගේ අර සාමාන්‍යෙන් රෑ පොටෝ ගන්නකොට කැමරාවලට අහු වෙන රවුම් වගයක් දේවතා එළි කියලා කියනු කතාවක් මතක් උනා මට. ඒකයි මේක දාන්න හිතුනෙ. ඒක ශ්‍රද්ධාව වැඩි කමද කපටි කමද මං දන්නෑ. මොනා උනත් කෙනෙක් කියන පලියට අපි පිළිගන්න ඕනෙ නෑ. ඔලුව පාවිච්චි කරලා හිතලා බලන්නයි ඕනෙ කියලයි මගෙ නම් අදහස. ඔයාල මොකෝ හිතන්නෙ?

ප.ලි: කාට හරි මේ පෝස්ට් එක කියෝල ඩෝං ගියා නං මේ පොටෝ එක බලලවත් හිත නිවා ගන්න.. බලන්න ලස්සන! (ඒකෙත් පොඩි දේවතා එළියක් තියෙනව හැබැයි!)

Saturday, May 28, 2011

හිතේ සතුට බෙදා ගන්න - ඔබෙ කොණ්ඩය කපා ගන්න!

හත් මාළුව සින්ඩිකේටරයට මගෙ බ්ලොක් එක දාන්න කරපු ඉල්ලීම මණ්ඩලෙන් අනුමත කරලා! ඒ ගැන ගොඩක් සතුටුයි!! මේ වගේ පුංචි බ්ලොග් වලටත් තැනක් දෙන එකට නිසි බලධාරීන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා :)

සතුට බෙදා ගන්නත් එක්ක මෙන්න අරන් කොණ්ඩෙ කපා ගන්න!
ඔව් ඔව් mp3 එකක් තමා.. ඒ වුනාට අහලා බලලා කොණ්ඩෙ කැපුනෙ නැත්තම් කියන්නකො, මම හෙට තට්ටෙ ගානවා!
හැබැයි මතක තියාගන්න.. අහන්න ඕනෙ earphone / headphone එකකින් (stereo). Speakers වලින් කොණ්ඩෙ කැපෙන්නෙ නෑ :( වැඩි කතා මොකටද? mp3 එක බාගෙන earphone / headphone එකේ වම දකුණ හරියට කනට ප්ලග් කරගෙන ඇස් දෙකත් පියාගෙන අහලම බලන්නකො.. :)
...
පට්ටයි නෙහ්?! (මේක අහපු හැමෝම කිව්වෙ එහෙමයි!)

Tuesday, May 3, 2011

අම්මගෙන් බැනුම් නොඅසා බිත්තියේ පින්තූර අලවමු

තමන්ගෙම කාමරේ උනත් බිත්තියෙ එක එක එව්වා අලෝනකොට අම්මල ගෙන් බැනුම් අහන්න වෙන්නෙ ඒවා කැත නිසාම නෙමෙයි. ඇණ ගහුවොත් ගැලෙව්වම බිත්තිය පළුදු වෙනවා, නැතුව ගම් වගේ දෙයක් ගාලා ඇලෙව්වොත් ගලෝන කොට තීන්ත තට්ටුවත් ගැලවෙනවනෙ. ඔන්න ඔය වෙගේ හේතු නිසා තමා ඔය පින්තූරයක් තියා ආවර්තිතා වගුවක්, සමීකරණ ලියපු කොලයක් වත් බිත්තියක අලෝගන්න නැත්තෙ.

ඕකට පොඩි විසඳුමක් කියන්නයි මේ ලිපිය ලියන්න හිතුනෙ. මොනා හරි බිත්තියෙ අලෝනකොට ගම් වෙනුවට සිග්නල් හරි වෙන මොනවහරි දන්තාලේපයක් පාවිච්චි කරන්න! ගම් ගෑවා වගේම බිත්තියෙ ඇලවිලා තියෙයි. ටික කාලෙකින් ඒ කොලේ ගැලෙව්වත් බිත්තියෙ හිටින දත් බෙහෙත් පැල්ලම තෙත රෙදි කෑල්ලකින් හෙමින් පිහ දැම්මම අයින් වෙනවා. බිත්තියටවත් පේන්ට් එකට වත් කිසිම හානියක් වෙන්නෙ නෑ :)

හැබැයි ගොඩක් ලොකු, බර එව්වට නම් හරි යයිද මන්දා.. ඔයාලත් ට්‍රයි කරලාම බලන්නකො..

Sunday, May 1, 2011

කඩුවට උදව්වක්..

අපි සාමාන්‍යෙන් කඩ්ඩ කියන්නෙ ඉංග්‍රීසි බාසවට කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉතින් මේ කඩුව පාවිච්චි කරන වෙලාවල අපේ අයගෙන් බොහොම සුලබ ව දැකපු වැරැද්දක් ගැන කියන්නයි හැදුවෙ..
ඔයාලත් ගොඩක් වෙලාවට අහලා ඇති ඉංග්‍රීසියෙන් කතා කරන කොට කට්ටිය 'the' කියන පදය 'ද' සහ 'දි' ලෙස උච්චාරණය කරනවා. විශේෂයෙන් ඔය 'දි' කියන එක හැම තිස්සෙම ගොඩක් බර කරලා කියන අවස්ථාවල් ඔයාලා ඕනෙ තරම් අහලා දැකලා ඇති.
ඒත් ඔය 'දි' කියලා කරන උච්චාරණය ඉංග්‍රීසියෙදි කරන්නෙ ඉස්ටැයිල් එකට නෙවි. 'the' එක්ක ඊළඟට එන වචනෙ Vowel එකක් නම් විතරයි ඒක එහෙම කියන්නෙ. නැත්තම් නිකන්ම 'ද' කියලා උච්චාරණය වෙන්න ඕනෙ.
උදා: 'දි' - Area, Earth, Island, Ocean, Umbrella...
        'ද' - Ball, Moon, Sea, Monkey, Dog, Cat...
මේක අපි වගේ පොඩි මිනිස්සු විතරක් නෙවි TV එකේ ඉංග්‍රීසි නිවේදකයොත් වරද්දනවා ඇහිලා තියෙන නිසයි මේක ලියන්න හිතුනෙ. ඔයාලත් නොදැන එහෙම කලා නම් දැන් හදා ගන්න පුලුවන් නේ!

ප.ලි: මං මේ කඩු විශාරදයෙක් නෙවි හොඳේ.. ඉගෙන ගත්ත දෙයක් කිව්වෙ. මේකෙන් කාට හරි උපකාරයක් උනා නම් සන්තෝසයි. :)

Thursday, April 7, 2011

Generate Table of Contents in MS Word

Document එකක පටුන auto හදා ගනිමු


පහුගිය දවස් වල අපි document එකක් ලිව්වනෙ. ඉතින් වැඩේ ඉවර වෙලා බාර දීලා එහෙම කට්ටිය ආ ගිය දේවල් කතා කරන කොට කීපදෙනෙක්ම කියපු දෙයක් තමා "document ලිවිල්ලත් හරි පටුන හදන එක තමා එපාම කරපු වැඩේ" කියන එක. ඔව් ඉටිහ්න් ඕක හදාගෙන හදාගෙන ගිහිල්ලා පස්සෙ අන්තිමට මොකක් හරි කොටසක් doc එකේ වෙනස් කරලා පිටු අංක වෙනස් උනොත් ආයෙ මුල ඉඳන් පටුන එඩිට් කරන්න එපැයි!
එහෙම ඕනෙ නෑ. MS Word වල Table of Contents (ToC) auto generate කරන්න පුලුවන්. ගොඩක් අය ඒ ගැන දන්නෙ නැති බව පෙනුන නිසා මේක ලියන්ඩ හිතුනා.


සාමාන්‍යෙන් අපි පටුනට දාන්නෙ මාතෘකා නෙ. topics, sub topics, sub වලත් sub topics ආදී වශයෙන් තියෙන මාතෘකා අදාල විදියට පටුනට දානවා. Word වල මේවට කියන්නෙ Headings කියලා. එව්වා ලැයිස්තුවක්ම තියෙනවා Home ribbon එක යටතෙ, මේ වගේ..
පටුන හදන්න ඕනෙ ලිපියෙ මාතෘකා මේ headings වලින් තියෙන්න ඕනෙ. (මාතෘකාව උඩ cursor එක තියලා ඔය තීරුවෙන් අදාල heading එක තේරුවම එහෙම වෙනවා)
එහෙම හදා ගත්තම පැත්තෙන් මෙහෙම tree navigation එකක් පෙන්නනවා (සැ.යු: MS Office 2010 පමණි)
Headings ටික සෙට් කර ගත්තට පස්සෙ පොඩි දෙයයි කරන්න තියෙන්නෙ:
පටුන එන්න ඕනෙ තැන cursor එක තියන්න, References ribbon එකට යන්න, දකුණු අත පැත්තෙ කොනේ ම තියෙන Table of Contents එකේ තියෙන පොඩි ඊ හිස click කරන්න..
පහලට වැටෙයි පටුනෙ සාම්පල් වගයක්. කැමති එකක් බලලා click කරන්ට. දැන් අර මුලින් cursor එක තිබ්බ තැනින් පටන් ගෙන පහළට පටුන හැදිලා තියෙයි. :)


ප.ලි: මේ විදියට ම ලිපියෙ තියෙන රූප වල පටුනත් (Table of Figures) හදා ගන්න පුලුවන්. ඒකට රූප නම් කරනකොට රූපෙ උඩ right-click කරලා add caption.. වලින් එව්වා නම් කරලා තියෙන්න ඕනෙ figures හැටියට.
ඊට පස්සෙ References ribbon එකේ Insert Table of Figures click කරලා වෙනස්කම් නැත්තම් OK කරන්න
වැඩේ හරි නේ?


ලිපියෙ වනස්කම් කලොත් references යටතෙම තියෙන අදාල Update Table link එක click කරන්න. එච්චරයි! ආයෙ මුල ඉඳන් එකින් එක වෙනස් කරන්න ඕනෙ නෑ :)


සිංහලෙන් කිව්වට වදින්නෙ නැත්තම් මේකෙ බලන්නකො:

Create a table of contents or update a table of contents (Word 2010)